22 September 2011

මානව ප්‍රජනන පද්ධතිය සහ 18+... / Human Reproduction Unit & 18+...

                                                    


                         


            මේක ටිකක් වෙනස් කතාවක්. සමහරවිට අනිත් අය මා එක්ක එකඟ නොවෙන්න පුළුවන්. ඒත් මම හිතනවා මම වැරදි නෑ කියලා.

            මට අවස්ථාව ලැබුණා රාගම වෛද්‍ය පීඨයේ ළඟදි පැවැත්වුණු වෛද්‍ය ප්‍රදර්ශනය බලන්න යන්න. ඒ සැප්. 5-10 අතර කාලයේ. මම මෑත කාලයේ කොළඹ (MedEx), ජ'පුර (වෙදැස), කැළණිය/රාගම (MedKel) වෛද්‍ය පීඨවලින් සංවිධානය කරපු ප්‍රදර්ශන තුනම බලන්න ගියා. ඒ නිසා මට මෙවරත් එහෙම එකකට යන්න ලොකු අවශ්‍යතාවයක් තිබ්බෙ නෑ. (කොහොමත් මගෙ field එක Plant genetics/Biotechnology නිසා.)

            ඇත්තටම මම ගියේ මගේ ඉතාම හොඳ මිතුරියකගෙ ඇරයුම නිසා. ඇය රාගම වෛද්‍ය පීඨයේ දෙවන වසර ශිෂ්‍යාවක්. මම මේක ලියන්න හේතුව ප්‍රදර්ශනය ගැන කියන්න නෙමෙයි. එහිදී මට පෙනුන දෙයක් ගැන හිතුන දෙයක් කියන්න.

          වෛද්‍ය ප්‍රදර්ශනයක් සාමාන්‍යයෙන් Anatomy and Physiology, Neurology, ENT, Respiratory, Psychology  Toxicology, Food and digestion, Forensic medicine වගේ අංශ යටතේ සංවිධානය වෙනවා. අපි එක්තරා ' δ (delta) T ' මොහොතක පරිශ්‍රයේ මුළු නරඹන්නන් සංඛ්‍යාව මොන අංශ වලද බෙදිලා ඉන්නෙ කියලා බැලුවොත්..., ඔබ නොවැරදීම එක උත්තරයක් දේවි. ඒ වැඩියෙන්ම ඉන්නෙ Reproduction Unit  එකේ කියල. ඒ සංසිද්ධිය ඇතිවෙන්නෙ වෛද්‍ය ප්‍රදර්ශනවල විතරක් නෙමෙයි. පොත්, ඡායාරූප, චිත්‍ර, චිත්‍රපට වගේ ඕනම එකකට සාධාරණයි. ඇයි එහෙම වෙන්නෙ..?


            මානව ශරීරයේ මේතරම් පද්ධති තියෙද්දි..., ඇයි ප්‍රජනන පද්ධතියට මේ තරම් ජනගහනයක්..! මම මේ කාරණය ගැන එතරම් හිතන්නෙ නෑ එහි සංයුතිය අවු. 15 -  45 අතර වුණා නම්. ඒත් එහි සැබෑ සංයුතිය අවු. 10 - 80 විතර පරාසයක විහිදුනා...!

            Reproduction Unit එකට මේ හැමෝම යන්නෙ මනව ප්‍රජනන පද්ධතිය ගැන සත්‍ය වශයෙන් ව්‍යුහාත්මක සහා කෘත්‍යාත්මක හැදෑරීමක් සඳහාම ද...? 20-40% ප්‍රමාණයක් දැනුම මූලික කරගෙන යනවා වෙන්න පුළුවන්. එතකොට ඉතිරි 60%...?

            මම යෝජනා කරනවා ඉතිරි 60% යන්නෙ කුතුහලය මූලික කරගෙන කියලා. ඒත් ඇයි මෙතරම් කුතුහලයක්...! ලංකාවේ මිනිස්සුන්ගේ ලිංගික පීඩනය පිළිඹද දර්ශකයක් ද මේ පේන්නේ..? සමහර වෙලාවට ඒ සැකය සාධාරණයි කියලා හිතෙනවා. හේතුව, තත්කාලීන සමාජයට එකතුවන බාල වර්ගයේ චිත්‍රපට, පොත්, සඟරා, විළාසිතා කන්දරාව දිහා බැලුවාම.

            වැරදියට තේරුම් ගන්න එපා, මම බාල වර්ගයේ කියලා හැඳින්වූයේ ලිංගිකත්වය/ ශෘංගාරය කියන සංකල්පය/ ක්‍රියාවලිය නෙමෙයි. මානව ලිංගිකත්වය ස්වභාවික වගේම මානව ජීවන චක්‍රයේ වටිනාම සංසිද්ධියක්. ඒ වගේම මමත් බොහොම කුතුහලයෙන් ඉඳලා සෑහෙන අධ්‍යනයක් කරපු විෂයක්. ලිංගිකත්වය කියන්නෙ විෂයකටත් වඩා කලාවක්. කලාවක් තේරුම් ගන්න හැමෝටම බැහැ. කලාවකට ඊට ආවේණික හර පද්ධතීන් තියනවා, ඊට ආවේණික අර්ථ නිරූපන තියනවා, ඊට අවේණික ශිල්ප ක්‍රම තියනවා.  එකිනෙකා තේරුම් ගන්න විදිහත්, අවබෝධ කරගන්න විදිහත්, ඒ අවබෝධය ආනන්දයකට පෙරළ ගන්න විදිහත් එකිනෙකට වෙනස්. ඒ වගේම ලිංගිකත්වය අව ප්‍රමාණයෙන් ස්පර්ශ කරලා සරළ විනෝදයකට හරව ගත්තොත් ඉන් ලැබෙන ප්‍රතිඵල ඉතා භයානකයි. ලිංගිකත්වය වෙළඳ භාණ්ඩයක් බවට පත්වෙන්නෙත් ඒ වගේ අවරසිකත්වයෙන් පෙළෙන සමාජයක. එය වෙළඳ භාණ්ඩයක් වීම මානව ලිංගිකත්වය කියන කලාවටත්, පොදුජන විඥාණයටත් විශාල හානියක් කරනවා.

            මම මේ පිළිඹඳ දැනුම ගවේශණය කරන්න පටන් ගත්තෙ මට අවුරුදු 14 විතර කාලයේ ඉඳන්. මගේ වාසනාවකට ද කොහෙද මම නිවැරදි track  එකේ හිටියේ. මගේ මූලාශ්‍ර බහුතරයක් ම විෂය මූලික ප්‍රකාශන. මුලින් මැජික් වගේ පෙනුනට අවබෝධය පුළුල් වෙනකොට එහි ස්වභාවිකත්වයත්, වටිනාකමත්, ඒ සංසිද්ධිය කොහොමද තේරුම් ගන්නෙ කියලත් මට අවබෝධ වුණා. ඒ නිසා මම හිතනවා දැන් මට පුළුවන් ඒ විෂය ක්ශේත්‍රය ගැන ෆැන්ටසි රාමුවෙන් එළියට ඇවිත් බලන්න.

            ඒත් බහුතරයකට මේ අවබෝධය නැහැ. ඒ නිසා වැඩිදෙනා මේ ෆැන්ටසියට අහුවෙනවා. 'ෆැන්ටසියෙන්' ලැබෙන 'ආතල්' එකට මිනිත්තු කිහිපයකට වඩා පැවැත්මක් නැති බව දැන දැනම ඒකට අහුවෙනවා.

            ඇයි මෙහෙම වෙලා තියෙන්නේ..? මම හිතනවා මානව ලිංගිකත්වය ගැන නිවැරදි දැනුම සහ අවබෝධය පාසලෙන් වගේම පවුල් පරිසරයෙනුත් 'ළමයා' ගේ වයසට ගැලපෙන විදිහට නොලැබෙන නිසා කියලා. ඒ වගේම පොදු සමාජයේ මේ මාතෘකාව ගැන නිවැරදි විදිහට කතා කරන්නෙ නෑ. ඒ වෙනුවට වෙළඳ අවශ්‍යතා සඳහා මේ සංකල්පය, එහෙම නැත්තම් මේ හිස්තැන හිතේ හැටියට ගණිකා වෘත්තියේ යෙදවීමට ඇති ඉඩකඩ ඕන තරම්. ළමයෙක් කුඩා කාලයේ අම්මාගෙන් ඇහුවාම "අම්මේ , මම මේ ලෝකෙට ආවේ කොහොමද..?" කියලා, " රෝස කැළෙන් ගෙනාවා.."  වගේ උත්තර තාමත් ලැබෙනවා නම්, අපි මේ ගැන තව දුරටත් කතා කරලා වැඩක් නෑ. වැසුනු දෙයක් ගැන කුතුහලය ඕනම කෙනෙකුට තියනවා. තමන්ගෙ වත්තෙ පොල් තියාගෙන, හොර පොල් කඩන්න ගොඩක් අය කැමතියි. මේ 'හොර පොල්' කැඩීමේ මානසිකත්වය කුඩා කාලයේ ඉඳලා වෙනස් වෙනවා නම් සමාජය මීට වඩා බුද්ධිමත් වේවි.
( සමාජය යහපත් වේවි කියලා මම කියන්නෙ නෑ. මොකද යහපත් සමාජයක් කියන්නෙ තවත් එක් ෆැන්ටසියක් විතරක් නිසා. )

            ලංකාවේ වෛද්‍ය පීඨ වලින් මේ  වගේ ප්‍රදර්ශන සංවිධානය කරන එක ගැන මම සතුටු වෙනවා. මිනිස්සුන්ට මේ ෆැන්ටසි රාමුවෙන් එළියට එන්න උත්ප්‍රේරකයක් වන නිසා. අනික මම කැමතියි චිත්‍රපට ශාලාවල යකඩ වැටවල් තවදුරටත් උසස් රසඥතාවයෙන් යුක්ත චිත්‍රපට පෙන්නන යුගයක් ඇති වෙනකල් ආරක්ෂා වෙනවා දකින්නත්.

            අවසාන වශයෙන් රාගම වෛද්‍ය පීඨයේ, කසුනිකා වගආරච්චි සොයුරියට මගේ ගෞරව පූර්වක ස්තුතිය. ඒ මට මෙහෙම දෙයක් හිතන්න අවස්ථාව ලබා දුන්නාට.

4 comments:

  1. මම එක්තරා දුරක ට හරි ඔය ගමන උඹත් එක්ක ආපු හින්ද ඔය ආකල්පයෙම තමයි මමත් ඉන්නෙ. අපේ සමාජය කිසිම ප්‍රායෝගික පදනමක් නැති, අඩුම ගානෙ අපේ අතීතයෙදි වත් පාවිච්චි නොවුනු විකාර හණමිටි අදහස් කරේ තියගෙන අපේ කම කිය කිය් කෑ ගහනව. මේ සංසිද්ධියත් ඒ කතාවෙම කොටසක්...

    ReplyDelete
  2. ඒක ඇත්ත මචං, ඈත ඉතිහාසයේ නොවුනත් ඊට පස්සෙ ළඟදි ඉතිහාසයක දි අපේ ඔළුවලට බලෙන් පැටවුණු බහුබූත... අපේකම කියාගෙන කෑගහන එක ජාතියේ අවාසනාවක්...

    ReplyDelete
  3. ඕකෙ දෙපැත්තක් තියෙනවා.මමත් ඔය විශය සෑහෙන්න අධ්‍යයනය කරපු හින්දයි කියන්නෙ.ඕක විවෘත ආර්ථිකේ වගේ මුළුමනින්ම විවෘත කරන්න බෑ.මොකද ආකර්ෂණය රැඳිලා තියෙන්නෙ මේ රහස්‍යභාවයත් එක්ක.කුතුහලය තමයි මිනිස්සුන්ට ලිංගිකත්වය ජීවිතේ වැදගත් අංගයක් කරලා තියෙන්නෙ.ලෝකෙ ගොඩක් සත්තුන්ට වසරකට එක් කෙටි කාලයක් ඇතිවෙන රාගය මිනිස්සු වසර පුරාම පවත්වගන්නෙ ඒ හේතුවට පින්සිද්ද වෙන්න.නමුත් මේ අය කරන විදිහට සම්පූර්ණයෙන්ම වහනවා කියන්නෙ තවත් ප්‍රශ්නයක් බිහි කිරීමක්.අපිට කියලා දුන්නා ෆැකල්ටියෙදි කපල් එකක් ළම්යි නෑ කියලා ආවම මුළින්ම සංසර්ගයේ යෙදෙනවද කියලා අහන්න කියලා.මොකද සමහරු දන්නෑලු ළමයි ලැබෙන්නනං සංසර්ගය අවශ්‍යයි කියලා......... !

    ReplyDelete
  4. ඒ කතාව මම පිළිගන්නවා. මම කියන්න උත්සහා කළේ සම්පූර්ණයෙන් විවෘත කිරීමක් ගැන නෙමෙයි. ශෘංගාරයේ වැසිය යුතු තැන් එසේම තිබියදී, මිනිස්සු විදිහට දැනගතයුතු කොටස නියම වයසෙදි නියම විදිහට නොලැබුනාම, ඒ අඩුව, නැත්තම් ඒ හිස්තැන අයුතු විදිහට වාණිජ කටයුතුවලට යොදාගැනීම නිසා ලිංගිකත්වයේ වටිනාකමත්, ඊට සමාන්තරව සමාජය මනෝ ලිංගික වශයෙන් විකෘති තත්වයට පත්වීම නිසා ඇතිවෙන බලපෑම මට තේරුණු විදිහට කියන්න.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...