උදා ළහිරු කිරණ නිල්වන් තණ පිටිය සිප ගන්නට පටන්ගෙන ඇත. අරුණළු රැසින් එකළු පිණිබිඳු කාන්තිය විහිදාලයි. හංදියේ බස් නැවතුම කරා පැමිණි මම, එහි ළඟා වූ මුල්ම බස් රථයට ගොඩවීමි. සෙනසුරාදා දිනයක් වූ නිසාවෙන් එතරම් සෙනඟක් බසයේ නොසිටි අතර, හොඳින් සුළං හමන කවුළුවක් අසල අසුනක් ලැබීම මා ප්‍රීතියෙන් කලම්බවාලන්නට සමත් වීය. මඳ වේලාවක් නැවතුමේ රැඳී සිටි බසය කෙමෙන් කෙමෙන් මහ මඟට අවතීර්ණ වූයේය..
මිහිදුම් කුමරිය තම දුහුල් සළුපිළි හාත්පස අවකාශයේ තවමත් විහිදා ඇත්තීය. තිමිරයේ ගැලුණු තුරු ලතාවෝ බොඳව ගිය සිතුවමක රූ සොබා දරන්නාහ. දියවන්නා ඔයේ විසල් ජල තලය මත සුදෝ සුදු පුළුන් රොද් සදිසි මිහිදුම් කැටිති අවලම්බනය වී ඇත. ළා හිරු කිරණ තිමිර පට අතුරින් රැස් වළලු විදාලූයේ මිහිදුම් කුමරිය තම ආදිපත්‍යට නතු කරගැනීමට දරන ආයාසයක් මූර්තිමත් කෙරෙමිනි.
මහ මග ඔස්සේ ගාටමින් ආ බසය රාජගිරියේ බස් නැවතුමට ගාල් විණ. එංජිමේ ගොර-ගොර ශබ්දය විඩාපත් ගවයෙකුගේ කෙඳිරිළි හඬක් නංවයි. කොන්දොස්තර ළමයා තම උකුසු ඇස් මනා ගෙන බසයේ ඉදිරියට හා පසුපසට දෙතුන් විටක් ගමන් කල අතර., කිසිවෙකුට තම දෑසින් ගැලවිය නොහැකි බැව් සනිටුහන් වූ සිනාවක් මුවෙහි නංවා ගත්තේය. අනතුරුව හේ එංජිම අසල වූ යකඩ වැටට හේත්තු වී ඩ්‍රැයිවර් සමග කතාවට වැටුනේය. තෙල් මිල, ඉන්ෂුවරන්ස්, ස්පෙයාර් පාර්ට්ස් ආදියට සම්බන්ධ වදන් විටින් විට ගලා ආව ද සමස්ථය කුමක් ගැන දැයි මඟී කිසිවෙකුට අදහසක් නොතිබිණ. මෙලෙස මිනිත්තු දහයක් හෝ දොලහක් ගතවන්නට ඇත. අලසකම මා වටා මකුළු දැලක් මෙන් එතෙන්නට විය.
"කාසල්, සෙන්ට්‍රල්, ග්ලාස් හවුස්, කොල්ලුපිටිය, කොල්ලුපිටිය, කොල්ලුපිටියා..."
කොන්දොස්තර ළමයා විටින් විට හඬ තලයි. ඒ අතරම ඔහු දොරටුවේ එල්ලී මඩ පාට රාජගිරි පොළොව, බුලතේ රත් පැහැයට හරවයි. බසය යන පාටක් නැත. මෙතෙක් වේලා තමගේ පාඩුවේ ඉවත බලාසිටි සහ තමුන්ගේ පෞද්ගලික කතාවල නියැලී සිටියෝ තරමකට කලබල වන්නට වූහ. පැහදිලිව වෙන් කර ගත නොහැකි වූ සැර බාල අප්‍රසන්නතාව ගැබ්වූ වදන් මෙන්ම නොසරුප් වදන්ද ගුමු ගුමුවක් සේ පැතිර යන්නට විය. කොන්දොස්තර ළමයා තවමත් එය නොඇසුනු ගානට දොරෙහි එල්ලී හඬ තලයි.
"කාසල්, සෙන්ට්‍රල්, ග්ලාස් හවුස්, කොල්ලුපිටිය, කොල්ලුපිටිය, කොල්ලුපිටි...."
මේ අතර එක් උච්ච අවස්ථාවක කශේරුව පූර්ණව සප්‍රාණ වූ පිරිමියෙකු යැයි සැක කළ හැකි යමෙක් නැගී සිටියේය.
" මේ ඕයි.., කීයටද මිනිහෝ මේක මෙතනින් අහක් කරගන්නෙ...?"
බසය මීයට පිම්බාක් සේ නිසල විය. දොරටුවෙන් හිස මෑත් කළ කොන්දොස්තර ළමයා බසය සිසාරා යක්ෂාවේශ බැල්මක් දල්වාලූයේය. සියල්ලන්ගේම නෙත් සිත් යොමුව ඇත්තේ නැඟී සිටි මිනිසා සහා කොන්දොස්තර අතර ඊලඟට වන්නට යන්නේ කුමක්දැයි බැලීම සඳහාය. වැස්සකට හෝ පාසලකට ගොඩවූ අයෙකු වී නම් නාලාගිරි දමනය නිතැතින්ම සිහිවනවා නිසැකය.
"සැරයක් මම ඇහුවා නේද..? කීයටද තමුසෙලා මේක අහක් කරන්නේ..?"
ඒ උත්තේජනයෙන් උද්දීපනය වූ කශේරුව අඩ ප්‍රමාණයෙන් සප්‍රාණ වූවෝ හඬ තලන්නට වූහ.
"ඒයි බූරුවා, තමුසෙගේ අම්මා එනකල් ද නවත්තගෙන ඉන්නේ..?"
"ගොනෝ, අපිට වැඩට යන්න පරක්කු වෙනවා. ගන්නවා ඕයි මේ ලඩිය පාරට."
බසය කෑකෝ ගෑම්වලින් ගිගුම් දෙන්නට විය. අප්‍රසාදය හඟවන කඨෝර වචනත්, උපහාසය දනවන වචනත් එකට එක්ව මහා ගාල ගෝට්ටියක් බවට පත් විය. අසාධාරණයට නිතැතින්ම පෙළ ගැසෙන මුහුණු සේම, තම පෙම්වතියට ජැක් ගැසීමට එන සලළෙකුට වුව මඳකුදු ඔරවා බැලීමක් නොකරන නිවට නියාළු මුහුණුද එක සීරුවට පෙළ ගැසෙන්නට වන.
කොන්දොස්තර ළමයා, ඩ්‍රැයිවර් අසල තිබූ වෙලාව සටහන් කරන පත්‍රිකාවත් සුරතින් ගෙන, අවධානම නොතකා බසයේ මැදට ගමන් කළේය.
"හැම එකෙක්ම කටවහගෙන අහගනිල්ලා. මේ තියෙන්නේ වෙලාව දාන කොළේ. අපිට කොල්ලුපිටියට යන්න තියෙන්නේ 9.20 ට. මේක අපි හදාගත්තු කෙහෙල්මලක් නෙමෙයි. ආණ්ඩුවෙන් තමයි දීලා තියෙන්නේ."
"කොහෙන් දුන්නු බම්බුවක් උනත් බස් හෝල්ට් ගානේ රස්තියාදු වෙන්න ඕකේ වෙලාවක් වෙන් කරලා නෑනේ..?"
වන්නට යන අනතුර දුටු රියදුරු සිද්දිය සමනය කිරීමට උත්සාහ දැරුවේය.
"මේ මල්ලි, උඹ නිකා හිටින්. වැදගත් මහත්තුරු අතරේ ඔය වගේ මෝඩයොත් ඉන්නවා."
එහෙත් කොන්දොස්තර ළමයාගේ හිස් මත්තෙහි නැඟි යක්ෂයා තවමත් බසින පාටක් නැත.
"මේ මහත්තයා, නිකන් බොරුවට කෑ ගහන්න එපා. අපිත් අසරණ දරු පවුල් කාරයෝ. වාහනේ අපේ නෙමේ නේ... මේකට කුළිය ගෙවන්න ඕන. එහෙන් ලීසින් කාරයො ඇවිත් කරදර කරනවා. ඒ මදිවට තෙලුත් ගණන්. තමුසෙට ටිකක් මහත්තයෙක් වගේ විනාඩි දෙක තුනක් ඉවසගෙන ඉන්න බැරිද..?"
"විනාඩි දෙක තුනක්.., කොහෙද බූරුවෝ විනාඩි දෙක තුනක් ගියේ..? දැන් විනාඩි විස්සකටත් වැඩියි.."
"නිකන් පලයන් මහත්තයා යන්න. විනාඩි විස්සක් කොහෙද ගියේ..?
"වරෙන් තොට පෙන්නන්න කොහෙද ගියේ කියලා.."
වාක්‍ය අවසන් කිරීමත් අමතක කළ ඔහු, කොන්දොස්තර ළමයාගේ පිටට පැන පහර පිට පහර එල්ල කරන්න ට පටන් ගත්තේය. තැලෙන යකඩේ දකින ආචාරියා උඩ පැන පැන තලන්නාසේ, සුරතාන්තයේ උපරිම සීමාවේ දඟලමින් සිටි සෙස්සෝද බුරුතු පිටින් මේ මැදට පනින්නට වූහ.
පත්තර කෑලි, කමිස සාක්කු, ඇස් කණ්නඩි, සාරි පොටවල්, හෑන්ඩ් බෑග්, ඒ තුළ වූ ලිප්ස්ටික්, අත් ලේන්සු, සනීපාරක්ෂක තුවා, දැති පනා එකකට එකක් පැටලී විසිර ගියේය. දාඩිය ගඳ, සෙන්ට් සුවඳ, බුලත් කහට, චුයින්ගම් සුවඳ, මඩ ගඳ, හඳුන්කූරු සුවඳ එකට මුහුම් ව බසය සිසාරා හමන්නට විය. ඒ අතරේ කොන්දොස්තර බේරගැනීමට ආ ඩ්‍රැයිවර් ට ද යටි බඩට, පිට මැදට හා කම්මුලට ය්නාදී ලෙස හොඳ හැටි සැලකුම් ලැබිණ.
මේ වනවිට බස් නැවතුමේ වූවන්ටද මෙය දැනී ගොස් හමාරය. ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තෝ තම නොමඳ සහයෝගය මීට ලබා දුන්හ. ඒ අතරේ හුන් පිට් පොකට් කාරයෝ දවසේ ගතමනාව උදෑසනම වාගේ බෝනස් සහිතවම උපයා ගන්නට සමත් වූහ. දෙතුන් දෙනෙකු බසයෙන් පිටටද වැටුණ බැව් පෙනිණ. පහර දුන් අය තමා පහර දුන්නේ කාටදැයි, ගුටි කෑ අය තමා ගුටි කෑවේ කාගෙන්දැයි කියාවත් නොදත්හ.. කෙසේ හෝ අවසානයේ සියල්ල සමථයකට පත් විය.
ලේ ගලායන මුව සහා නිල්-දම් වූ කම්මුල වමතින් දරාගත් කොන්දොස්තර ළමයා කටේ වූ බුලත් හපය එළියට විසිකර, වෙව්ලන ස්වරයෙන් බෙරිහන් දෙන්නට විය.
"එක වේසිගෙ පුතෙක්වත් බස් එකේ ඉන්ඩ එපා. සේරමල්ල බැහැලා පලයව්. බස් එක මෙතනින් එහාට අඩියක්වත් හොලවන්නේ නෑ."
බසයේ වූ සියල්ලෝම ගමන් මළු ද, ළමා ළපටින්ද දොක්කාගෙන බසයෙන් බසින්නට වූහ. කවුරුන් හෝ කෙනෙක් සීට් දෙකක් අතර සිරව සිටි ඩ්‍රැයිවර් එලියට ගත්හ. කෝපාවිෂ්ඨ වූ ඇතැමෙක් මෙසේද කියන්නට වූහ.
"ඇද්ද... පණ්ඩිතකමට කරන්න ගිය දේ. දැන් ඉතින් වෙන බස් එකක් හොයාපල්ලකො..."
"අනේ මන්දා.. මේ මිනිස්සුන්න්ට මොන හෙණයක් වැදිලද කියලා.? තිරිසන්නු.. මුං හින්දා අපිට බස් එකක යන්නත් නෑ. කාලකන්නි හැත්ත....!"
ති. ත. පෙරේරා
2008/11/2
(සඳකඩපහණ අතිරේකය, ලංකා පුවත්පත )
* * * * * * * * * *
Pictures were taken by -
Fuji Finepix AV140